Asu Maha Sravaka Temple – Kahataruppa

Asu Maha Sravaka Temple – Kahataruppa

සිත මෙන්ම ගතද සිසිල් කරවන පරිසරයක පිහිටි මෙම විහාරයට ඇත්තේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර 11ක් පමණි. අපාය, මිහින්තලය, දිව්‍යලෝකය ආදිය බෞද්ධයන්ට එකම තැනකින් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. එවැනි අවස්ථාවක් මෙම විහාරයට පැමිණෙන ඕනෑම කෙනෙකුට අත්විඳීමේ අවස්ථාව උදා වේ. මෙම විහාරස්ථානය මුල් කාලයේ පැවතියේ දැන් තිබෙන භූමියේ පහළ කොටසේය. එය මහාකුඹුරේ විහාරය නමින් හැඳින්විය. නමුත් එය දැන් කැලෑවකින් වට වූ භූමි ප්‍රදේශයක් වී හමාරය. මෙම විහාරස්ථානය ඉදිකරනු ලැබුවේ මෙම ඉඩමේම ඉහළ කොටසේය.

විහාර වාහල්කඩයෙන් ඇතුළු වූ අපට මුලින්ම දැකගත හැකි වන්නේ අප දේශයට සම්බුද්ධ ධර්මය ගෙන ආ මිහිඳු මා හිමියන් ඇතුළු ශ්‍රාවක පිරිස ප්‍රදර්ශිත මිහින්තලයයි. පසු කලෙක වෛත්‍යය වෙත වැඩම කරන පිළිම වහන්සේලා නෙළීමට සිතූ විමලකිත්ති හිමියන් ඒ සඳහා අච්චුවක් සකස් කර, පිළිම දෙකක් පමණ තනිවම නෙළිම ආරම්භ කළහ. අනතුරුව ගම්වාසීන්ගේද සහයෝගය ඇතිව පිළිම වහන්සේලා 93 නමක් ඉදිකිරීමට හැකි විය. විහාරස්ථානය සතු සෑම ඉඩකඩක්ම ප්‍රයෝජනයට ගනිමින් උන්වහන්සේ මිනිසුන්ට අනිත්‍ය පසක් කිරීම සඳහා නොයෙක් නිර්මාණයන් පන්සල් භූමිය තුළ නිර්මාණය කළහ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස බුද්ධ මන්දිරයේ ඉතිරි වූ කුඩා ඉඩක් ප්‍රයෝජනයට ගනිමින් ප්‍රේත වස්තු උමං විහාරයක්ද සකස් කළහ. මෙහි විශේෂයක් වන්නේ මෙම විහාරයේ බිතුසිතුවම් වල දක්නට ඇත්තේ වර්තමානයේ මිනිසුන් විසින් සිදුකරන පව් නිසා ඔවුන්ට ලැබෙන විපාක පිළිබඳ වැටහීමක් ලබාගත හැකි වීමයි.