නීතිමය තත්ත්වය හා කාර්යභාරය

ප්‍රාදේශිය සභාවක නීතිමය තත්ත්වය හා කාර්යභාරය

1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේ ඇතුළත් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභා පිහිටුවීමත් සමඟ පළාත් පාලන විෂය ද පළාත් සභාවේ කාර්ය පටිපාටිය හා බද්ධ විය. ඒ අනුව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන හා අනෙකුත් ආශ්‍රිත නීතින් ද එවීම තුළින් වර්තමානයේ පළාත් පාලන ආයතනයකට පහත සඳහන් කාර්යයන් සම්බන්ධව සියළු බලතල සහ වගකීම් ඇතුළත් වගන්ති දෙසීය විසිහයකින් (226) සමන්විත විධිවිධානයන් සැලසී ඇත.එම කාර්යයන් සහ කර්තව්‍යන් පහත ඛාණ්ඩ යටතේ වර්ගකර පනත තුළ දක්වා ඇත.

  • ප්‍රාදේශීය සභා සංස්ථාපනය හා රැස්වීම් පැවැත්වීම.
  • ප්‍රාදේශීය සභාවල නිල තත්ත්වය බලතල හා කාර්යයන්.
  • මංමාවත් වලට අදාළ බලතල හා කාර්යයන්.
  • මහජන සෞඛ්‍ය පිළිබඳ බලතල හා කාර්යයන්.
  • මුදල් හා වරිපනම් බදු.
  • ප්‍රාදේශීය සභා අධීක්ෂණය කිරිම හා පාලනය.
  • ප්‍රාදේශීය සභා වලට අදාළ පරිපූරක විධිවිධාන.
  • ගාස්තු අය කිරිම,වන්දි ගෙවීමේ කාර්යය පටිපාටිය සහ නඩු කටයුතු,නිලධරයන්ගේ බලතල හා වගකීම්,අන්තර් කාලීන වැඩ පිළිවෙලවල් සහ විධිවිධාන.

පළාත් පාලන ආයතනයක් සඳහා මූලික පනතේ විධිවිධාන වලට අමතරව බලය පැවරී ඇති ආඥා පනත් හා නීති රාශියක් ඇත.

  • ගෝඝාතක ආඥා පනත
  • විනෝද බදු ආඥා පනත
  • මාර්ග හා ප්‍රසිද්ධ ස්මාරක ඉදිකිරිමේ නීතිය
  • පීඩා ආඥා පනත
  • මිනීපිටි හා සුසාන භූමි ආඥා පනත
  • සුනඛයින් ලියාපදිංචි කිරිමේ ආඥා පනත
  • නිවාස හා නගර සංවර්ධන ආඥා පනත
  • ආහාර පනත
  • ජලභිතීකා ආඥා පන

පළාත් පාලන ආයතන සඳහා ඉහත සඳහන් කරන ලද ප්‍රධාන නීති වලට අමතරව මුදල් රෙගුලාසි හා ආයතන සංග්‍රහය ද ඇතුළුව උපකාරක නීති රාශියකින් ද සමන්විත වේ. එනම්,

  • අතුරු ව්‍යවස්ථා
  • නියෝග
  • ප්‍රකාශන
  • විධාන/නියමයන්
  • නිවේදන
  • ව්‍යවස්ථා

ඉහත සඳහන් කරන ලද නීතිමය රාමුව තුළ ප්‍රාදේශීය සභාවක් තම කටයුතු මෙහෙයවයි.එහිදී නීතිමය රාමුව තුළ ප්‍රදේශයේ ජනතාව විසින් ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලද මහජන නියෝජිතයින්ගෙන් සමන්විත සභාවක් තුළ තීන්දු තීරණ ගනු ලබයි. ඒ අනුව ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් සම්පත් ආරක්ෂා කරමින් ඵලදායි ලෙසත්, කාර්යක්ෂම ලෙසත් සම්පත් යෙදවීම මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරිම පිණිස ප්‍රාදේශීය සභාවක් විසින් ඉටුකරන කාර්යයන් රාශියකි.

  • සභාවට පවරන ලද හෝ පාලනයට භාර දෙන ලද හෝ සභාව සතු සියළු මංමාවත්,විථී සහ විවෘත ස්ථාන නඩත්තු කිරිම හා පවිත්‍ර කිරිම.
  • මංමාවත් පුළුල් කිරිම හා නඩත්තු කිරිම,එළිමහන් ස්ථාන වෙන් කර තැබීම,පොදු සංවර්ධන කටයුතු මඟින් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංවර්ධනයට හා උන්නතියට අවශ්‍ය කටයුතු කිරිමත් නව ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරිම හා සමාලෝචනය.
  • සියළු පොදු මහජන උවදුරු මැඩ පැවැත්වීම.
  • ජනතාවගේ සුභ සාධනය,සුව පහසුව හා පහසුකම් සඳහා අවශ්‍ය මහජන අවශ්‍යක සේවා ඇති කිරිම හා නඩත්තුව.
  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය, සුභ සාධනය හා සනීපාරක්ෂක සේවා වැඩි දියුණු කිරිම.
  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතා ඉටුකිරිම සම්බන්ධ සේවා ලබාදීම, නඩත්තුව හා පාලනය.
  • පනතින් දක්වා ඇති පරිදි ප්‍රාදේශීය සභාවේ අරමුදලට ආදායම් රැස් කිරිම හා මනා මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යාම.
  • සෞඛ්‍ය සේවා කටයුතු.
  • රජයේ අනෙකුත් ආයතන සමඟ සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කිරිම.